Header Ads

අනුෂා වෙන සම්බන්ධයක් කරගෙන යනවා, එයා මගෙන් ඈත්වෙන්න හදන නිසා මම පෙට්‍රල් දාලා එයාට ගිනි තිබ්බා

මාව මරනෝ.. අනේ මාව බේරගන්න...
කාමරේට ගිහින් බලද්දි ඇඳ උඩ අනූෂව ගිනි ගන්නවා..

"වානගුරු මාවතේ මිනිහෙක් පුච්චලා දාලා ඉන්නවා කියලා අපිට දැන් ඉන්ෆොමේෂන් එකක් ආවා."

පොලිස් හදිසි ඇමතුම් 119 අංශයෙන් අතුරුගිරිය පොලිසියට මෙම ඇමතුම ලැබෙන විට වේලාව පෙරවරු එකොළහ පමණ වී තිබිණි.

තොරතුර ලද සැනින් ස්ථානාධිපති ඇතුලු කණ්ඩයාමක් වානගුරු මාවත බලා පිටත්විය. පොලිස් රථ එම ස්ථානයට ළඟා කිරීමට නොහැකි බවක් පෙනේනට තිබිණි.
ඒ.... සෙනඟ පිරී සිටීමත්, පිරිසක් වාහන වලින් පැමිණ සිටීමත් නිසා ඇතිව තිබු මාර්ග තදබදය නිසාය.

සෙනඟ අතරින් වානගුරු මාවතට ඇතුලු වූ පොලිස් පිරිසට එක්රොක්ව සිටි අය කියා සිටියේ පිලිස්සුම් තුවාල සහිතව සිටි පුද්ගලයා ඔරුවල රෝහලට පිටත්කර යැවු බවයි.

"ඉස්සරහ ගෙදරක ගෑණු කෙනෙක් පිච්චිලා ඉන්නවා. ඒ ගෙදර ඉඳලා පිච්චුන පිරිමි කෙනෙක් පාරට දුවගෙන ආවා."

ඒ... පොලිසියට ලැබුණු තවත් තොරතුරකි. එම තොරතුරු වලට අනුව කාන්තාවක පිලිස්සී මියගොස් සිටිනවා යැයි කී නිවෙස වෙත පොලිසිය යද්දී එම ගෙවත්ත පුරා ද අසල්වාසීහු බොහෝ පිරිසක් එක් රොක්ව සිටියහ.

"ගේ ඇතුලේ කාමරේක ගෑණු කෙනෙක් පිච්චිලා ඉන්නවා."

ගෙවත්තට එක්රොක්ව සිටි පිරීස් එලෙස පැවසු අතර නිවෙසට ඇතුලු වු පොලිස් කණ්ඩායම කාමර එකින් එක පරීක්ෂාවට ලක් කළේය.

කාමර දෙකකින් සමන්විත නිවෙසේ දෙවන කාමරයේ ඇඳ මත උඩුබැලි අතට වැටුණු පිලිස්සී ගිය කාන්තා මළ සිරුරක් පොලිසියට හමුවිය.

"කවුද මේ" පොලිසිය ඇසු පැනයට මුල්ම පිළිතුර ලැබුණේ එම නිවෙසේ මෙහෙකාරිය සමඟ ජීවත් වු වයෝවෘද්ධ කාන්නාවගේ දියණියගෙනි.

ඇය පදිංචිව සිටින්නේ මෙම නිවෙසට අල්ලපු නිවෙසේය.

"ඔය අපේ අම්මා බලාගෙන ගෙදර වැඩපල කරගෙන හිටපු අම්මගේ සර්වන්ට්. මෙයා අනුෂා කුමාරි.

ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ තුන්වෙනිදා තමයි එයා මේ ගෙදර වැඩට ආවේ. එයාව ගෙදරට ඇරලවන්න ආපු පිරිමි කෙනා තමයි පිච්චිලා හිටියේ.

අනුෂා අපිට කිව්වේ ඒ මල්ලි. බැඳලා දරුවෝ ඉන්නවා කියලයි. අපි පස්සේ තමයි දැනගත්තේ ඒ අනුෂාගේ අනියම් පුරුෂයා කියලා."

ඇය එලෙස පොලිසියට තොරතුරු හෙළිකළ අතර පිලිස්සුම් තුවාල ලබා රෝහලට ඇතුලත් කළ පුද්ගලයා සොයා පොලිසියේ කිහිප දෙනකු ඔරුවල රෝහලට ගිය විට දැනගන්නට ලැබුණේ තත්ත්වය බරපතල බැවින් ඔහු කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවයි.

ජාතික රෝහලට ගිය පොලිස් නිලධාරීන්ට අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පුද්ගලයා ප්‍රකාශයක් ලබා දී තිබිණි. ඒ... තමාත් අනුෂාත් පෙට්‍රල් වත්කරගෙන ගිනිතියාගත් බවයි.

එලෙස පළමුව කට උත්තරයක් දුන් ඔහු තව දුරටත් විස්තර කළේ හෙළිකරන්නට විය.

"අනුෂා වෙන සම්බන්ධයක් කරගෙන යනවා. එයා මගෙන් ඈත්වෙන්න හදනවා. ඒ නිසා මම පෙට්‍රල් දාලා එයාට ගිනි තිබ්බා."

ඔහුට ඉන් එහාට යමක් ප්‍රකාශ කිරිම අපහසු විය. එය.... ඔහුගේ මරණාසන්න ප්‍රකාශය බව වැටහුනේ සිද්ධියට පසුදින උදේ වරුවේය. ඒ... ඔහු එදින උදේ රැයින්ම ජීවිතයෙන් සමුගෙන ගොස් තිබු බැවිනි.

මෙලෙස මිය ගියේ කැප්පෙටිපොළ ගෙදර ගාමිණී කරුණාරත්න නම් වූ තිස් හතර හැවිරිදි පුද්ගලයෙකි. පොළොන්නරුව, පුලස්තිගම, අබේපුර අංක 12 ඔහුගේ ස්ථිර ලිපිනයයි.

පොලිසිය මෙම තොරතුරු නිවැරැදිව සොයා ගත්තේ සිද්ධිය වූ වානගුරු මාවත හෝකන්දර උතුර අංක 95/2 දරණ නිවෙස පිටුපස ජල කරාමය අසල වැටී තිබී හමු වූ මුදල් පසුම්බියේ ඔහුගේ ජාතික හැඳුම්පත තිබී හමු වූ නිසාය.

ඔහු විසින් ගිනිතබා ඝාතනය කළේ ආඬිගම, දෙමළසිරික්කුලම ලිපිනයේ පදිංචි අනුෂා කුමාරි නැමැති තිස්පස් හැවිරිදි කාන්තාවකි. තමා දරුවන් සිටින අයකු බවත්, සැමියා අතැරදමා ඇති බවත් ඇය මෙහෙකාර සේවයේ යෙදී සිටි නිවැසියන් සමඟ පවසා තිබිණි.

මෙම සිදුවීම පිළිබඳ පොලිසිය කළ විමර්ශණයේදී හෙළි වූ තොරතුරු වලට අනුව අනුෂාත් ගාමිණීත් අතර පවතින සම්බන්ධය හෝකන්දර උතුර නිවැසියන් දැන සිටියේ නැත.

ඔහු... ඇය සොයා මෙම නිවෙසට නිතර නිතර පැමිණ තිබුණේ ද නැත. මෙම නිවෙසේ පදිංචිව සිටින්නේ වකුගඩු දෙකම අක්‍රිය වූ හැටහත් හැවිරිදි රෝගී කාන්තාවකි.

ඇය මෙම නිවෙසේ තනිවම කල්ගෙවන අතර අනුෂා මෙහෙකාරියක ලෙස සේවයට පැමිණ නිවෙසේ සියලු වැඩකටයුතු කරගෙන කල් ගෙවීය.

මෙම සිද්ධියට පෙර දින නිවැසි කාන්තාවගේ දියණියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී තිබිණි. එම ඇමතුම ලබා දුන් පුද්ගලයා පවසා තිබුණේ අනුෂාත් තමාත් දැනට වසර තුනක පමණ කාලයක් එකට ජීවත් වන බවත් දැන් ඇය තමාට අකමැති බවත් ඊට හේතුව ඇය වෙනත් අයකු හා සම්බන්ධ වීම නිසා බවත්ය.

එම ඇමතුමට පිළිතුරු දුන් ඇය පවසා තිබුණේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ඔයගොල්ලො විසඳගන්න, ඕනනම් අපි මෙයාව පොලිසියට අරගෙන ගිහින් එහේදී ඔයාට හරි බාර දෙන්නම් ලෙසටය.

මෙම දුරකථන ඇමතුම ඇයට ලැබුණේ පෙබරවාරි මස පළමුවැනිදා සවස් භාගයේදී.

එදින සවස අතුරුගිරිය පොලිසියට දුරකථන ඇමතුමක් දුන් කාන්තාවක් පවසා තිබුණේ තමාට මරණ තර්ජන තිබෙන බවය. අනුෂා ඝාතනය වන්නේ ඊට පසුදින එනම් දෙවැනිදා උදේ වරුවේදීය.

මෙම නිවෙසේ සිටින වයෝවෘද්ධ කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගොස් ආපසු පැමිණ තිබුණේ සිද්ධිය වූ දෙවැනිදා අලුයම දෙකට පමණය. එබැවින්.

එදින හිරු උදාවීමෙන් අනතුරුවද ඇය පසු වුයේ තද නින්දේය.

අල්ලපු නිවෙසේ පදිංචි දියණිය ද එදින උදේ නවයහමාරට පමණ නිවෙසින් පිටව බැංකුවට යන අතර මෙම සිද්ධිය වන්නේ උදේ දහයමාරට පමණය.

"මට හොඳටම නින්ද ගිහිල්ලා තිබුණේ මට එක පාරටම කෑ ගැහිල්ලක් ඇහිලා ඇහැරුණා. මෙන්න... මාව මරනවෝ අනේ...මාව බේරගන්න.... මාව බේරගන්න" කියලා අනුෂා කෑගහනවා ඇහුණා. මම ඒ කාමරේට ගිහින් බලද්දී අනුෂා ඇඳ උඩ ගිනි ගන්නවා."

"මම පිටිපස්ස පැත්තට දුවලා ගියා. යද්දී දොර ඇරලා තිබුණේ. මම දොර ළඟට ගිහින් කවුරුහරි අපිට ගිනි තියනවා.

අපිව බේරගන්න කියලා කෑ ගැහුවා. ඒ වෙලාවේ මම දැක්කා කවුරුහරි පිරිමි කෙනෙක් පිටිපස්සෙ පයිප්පේ ළඟට ගිහින් නාගෙන පාර පැත්තට දුවනවා. මගේ කෑගැහිල්ලට වටේ කට්ටිය ඇවිත් මාව ගෙදරින් අයින් කරලා ගෙයි ගින්න නිවලා දැම්මා."

ඇය.... ඇසින් දුටු දෑ එලෙස විස්තර කළාය. අනුෂා ඝාතනයට එරෙහිව නඩු පැවරීමට කෙනකු නැත. ඒ... පෙට්‍රල් වත්කොට ගිනිතබා අනුෂා ඝාතනය කළ පුද්ගලයා ද අද ජීවතුන් අතර නොමැති බැවිනි.



Powered by Blogger.