Header Ads

සහල් මිලේ අඩුවීමක් නෑ

වෙළෙඳපොළ සහල් මිලෙහි කැපී පෙනෙන අඩුවීමක් නොවන බව පාරිභෝගිකයන් පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කර ඇත්තේ සාමාන්‍ය සහල් කිලෝවක් රුපියල් 90කට වඩා වැඩි මිලකට පවතින බවයි.

රජයේ බලධාරීන් කුමන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත්තද එහි ප්‍රතිලාභ රටේ ජනතාව වෙත නොලැබීම කණගාටුවට කරුණක් බව ඔවුන් පෙන්වා දී ඇත.

වෙළෙඳපොළ තුළ වී හිඟයක් පවතින්නේ දැයි කළ විමසීමකදී වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී දිසානායක මහතා සඳහන් කළේ මේ වන විට රජය සතුව වී මෙට්‍රික් ටොන් 60,000ක ප්‍රමාණයක් පවතින බවයි.

ආරක්ෂිත වී තොලද සමඟ රජයේ වී ගබඩා සතුව වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ පවතින බව ඔහු කියා සිටයේය.

සාමාන්‍යයෙන් යළ කණ්නයේදී වී මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 60,000ක් පමණ වී අලෙවි මණ්ඩලයට ලැබෙන බවද එම්.බී දිසානායක මහතා සඳහන් කළේය.

මෙවර යළ කන්නයේදී වී අලෙවි මණ්ඩලය සඳහා වී මෙට්‍රික් ටොන් 25,000ක පමණ ප්‍රමාණයක් ලැබී ඇති නමුත් වෙළෙඳපොළේ තරඟකාරී මිල ගණන් පැවතීම හේතුවෙන් සැලකිය යුතු වී තොග ප්‍රමාණයක් වී මෝල් හිමියන් විසින් සෘජුව මිලදී ගෙන ඇති බවද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දී තිබේ.

මේ අනුව සැලකීමේදී දිවයිනේ වී හිඟයක් නොමැති බවට තහවුරු වන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී දිසානායක මහතා පවසයි.

මෙවැනි පසුබිමක සහල් ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළේය.

අද දෙරණ කළ වීමසීමකදී කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ඉන්දිකා රණතුංග මහත්මිය සඳහන් කළේ අඩු මිලට ආනයනික සහල් වෙළෙඳපොළට නිකුත්වීම හේතුවෙන් ඉදිරියේදීද විවෘත වෙළෙඳපොළේ සහල් මිල ගණන් පහලයනු ඇති බවයි.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ තමාට සහල් මිල පාලනය සම්බන්ධයෙන් වගකීමක් නොමැති බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ සහල් මිල නියාමනය සම්බන්ධයෙන් වගකිම කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය වෙත පැවරෙන බවයි.
Powered by Blogger.