Header Ads

නිදහස් දිනය දා අරලගංවිල මවක් තම පුංචි පුතු තනිකර නිවසින් පලායයි

දරුවගේ තාත්තට මේ දවස්වල කුලී වැඩත් නෑ..
අම්මා අපිටත් නොකියම දරුවා දාලා ගියා...

ඉකුත් හතරවෙනිදට යෙදී තිබුනු හැට නව වන නිදහස් දිනය දා හතරවැනි උපන්දිනය සමරන දිනයේම ඇවිදීමට , කතාකිරීමට නොහැකිව ආබාධිතව ඇඳමත සිටි තම එකම පිරිමි දරුවා නිවසේ තනිකර දමා ගිය මවක් පිළිබඳ පුවතක් දිඹුලාගල අරලගංවිල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අරලගංවිල ජයමුතුගම අංක 216 ලිපිනයේ පදිංචිව සිටින ආර්.එම් චිරාන් මෙත්සර නමැති එම දරුවා 2015 මැයි 11 වනදා සිට කුඩා බයිසිකලයකින් වැටී ආබාධිතව සිටිනවා.
එම දරුවාගේ මිත්තණිය සහ කුලී වැඩ කරන පියා නිවසේ නොසිටි අවස්ථාවක 21 වන වියේ පසුවන නිසංසලා ප්‍රියදර්ශනී නමැති මව විසින් මෙලෙස දරුවා නිවසේ තනිකර දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙරද එම දරුවා දමාගොස් ඇති එම මව පිළිබඳව අරලගංවිල පොලිසියට පියා විසින් පැමිණිලි කර තිබෙනවා.

දරුවා සෑම මසකම දෙවන සතියේ බදාදා දිනයේ පොළොන්නරුව මහ රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර ලබාගත යුතු බවත් මාසයකට කිරි පිටි පැකට් 8ක් දරුවාට ලබාදිය යුතු බවත් ආර්ථික ගැටළු හමුවේ දරුවාට ප්‍රතිකාර කිරීමටත් නොහැකිව සිටින බව මල් පැල අලෙවි කර ජීවිතය ගැට ගහගන්නා දරුවාගේ මිත්තණිය හැඬූ කඳුළින් පැවසුවා.

" මෙම දරුවාට කන්න බොන්න බැහැ. සේරම බටවලින් තමා කවන පෙවන එක මම කරන්නේ . අම්මා අපිටත් නොකියා දරුවා තනිකරලා දාලා ගියා. 2015 දී දරුවා පොඩි සයිකලයකින් බිමට වැටිලා බෙල්ල ප්‍රදේශය පණ නැති වුනා. පසුව අරලගංවිල රෝහලට අරන් ගියා. එහෙන් පොළොන්නරුව මහ රෝහලටත් , නුවරඑළියටත් දරුවා අරන් ගියා.

වෛද්‍යවරු කිව්වා දරුවා සුව කරන්න බැහැ ගෙදර අරන් යන්න කියලා. මෙම දරුවාට මසකට 15,000ක විතර වියදමක් යනවා ප්‍රතිකාරවලටයි අනෙක් අවශ්‍ය දේවල් වලටයි.

මම මල්පැල විකුණලා හොයාගන්න සුළු මුදලින් තමා දරුවාට කිරිපිටි පැකට් එකක් ගන්නේ. දරුවාගේ තාත්තාට මේ දවස්වල කුලී වැඩත් නැහැ.

මේ දරුවා ජීවත් කරගන්න කවුරුන් හෝ වෛද්‍යවරයෙක් ඉදිරිපත් වුනොත් ලොකු පිනක්. යනුවෙන් මිත්තණිය පැවසුවා.

Powered by Blogger.