Header Ads

විස්සයි:20 තරග තුනේ නායකත්වයට තරංග

තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයට අයත් විස්සයි:20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා උපුල් තරංග නම් කර තිබේ. ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහු තවමත් සුවය ලබා නැති හෙයින් ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා උපුල් තරංග නායකත්වයට තෝරා ගනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයට ඇතුළත් වන්නේ විස්සයි:20 තරග 3 ක් පමණි. එම තරග මේ මස 17, 19 සහ 22 දිනවලදී පැවැත්වේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි:20 තරගාවලියේ දෙවැනි තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දෙමින් සිටියදී පාදයේ කලව පිටුපස මස්පිඬුව ඉරීයාම නිසා අපහසුතාවට පත්ව සිටියේය. එහෙත් සටන අත් නොහළ ශ්‍රී ලංකා නායකයා තරගයේ අවසන් ඕවරයේදී හයේ පහර දෙකක් ගසමින් තරගයේ ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියේ පන්දු 50 කදී නොදැවී ලකුණු 54 ක් ලබාගනිමිනි. පසුව තුන්වැනි විස්සයි:20 තරගයත් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට දකුණු අප්‍රිකාවේදී තරගාවලි ජයක් වාර්තා කළේය.

පාදයේ ආබාධය හේතුවෙන් සති තුනක් හෝ ඊට වැඩි කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුවීම නිසා ආපසු සියරට පැමිණි ශ්‍රී ලංකා නායකයා මේ දිනවල පිය පදවිය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටී. මැතිව්ස්ගේ බිරිඳ සිය කුළුඳුල් දරුවා ලැබීමට ආසන්නව සිටින්නීය.
Powered by Blogger.