Header Ads

තරංගගේ උත්සාහය අපතේ යයි

උපුල් තරංගගේ උත්සහය අපතේ යවමින් දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී ඊයේ (07 වැනිදා) පැවැති සිව්වැනි එක්දින තරගයෙන් ලකුණු 40 ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 368 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 48.1 කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 327 ක් පමණි. මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් අවසන් කඩුලු 5 ලකුණු 20 ක් තුළ දැවියාම ශ්‍රී ලංකාවේ පරාජයට හේතු විය.

පන්දු 73 කදී තම 14 වැනි එක්දින ශතකය ලබාගත් උපුල් තරංග, වේන් පානෙල්ගේ පන්දුවකට ජේ. පී. ඩුමිනි අතට උඩපන්දුවක් දෙමින් දැවියන විට පන්දු 90 කට මුහුණ දෙමින් ලකුණු 119 ක් ලබා සිටියේය. හයේ පහර හතකින් සහ හතරේ පහර 11 කින් තරංග සිය ඉනිම අලංකාර කළේය.

තරංග සමග එක්ව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 64 ක සම්බන්ධතාවක් පැවැත්වූ කුසල් මෙන්ඩිස් ලකුණු 29 කට දවාගැනීමට වේන් පානෙල් සමත් විය. කුසල් මෙන්ඩිස් දැවීයන විට ලකුණු පුවරුව කඩුලු දෙකකට ලකුණු 203 ක් ලෙස සටහන් විය.

වේගවත් ආරම්භයක් ලබාගත් උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට හොඳ හැටි පහර දෙමින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නැංවූ අතර පළමු කඩුල්ල සදහා පන්දු 97 කදී ලකුණු 139 ක්ද සම්බන්ධතාවයක් පැවැත් වූහ. පන්දු 40 කදි සිය තෙවැනි එක්දින අර්ධ ශතකය ලබාගත් දික්වැල්ල දවාගැනීමට ඞ්වයින් ප්‍රිටෝරියර්ස් සමත් විය. දික්වැල්ල පන්දු 47 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 58 ක් රැස්කළේය.

අසේල ගුණරත්න සමගින් පස්වැනි කඩුල්ල සදහා පන්දු 59 කදී ලකුණු 79 ක සම්බන්ධතාවයක් පැවැත්වූ සඳුන් වීරක්කොඩි සිය පළමු එක්දින අර්ධ ශතකය පන්දු 46 කදී සම්පූර්ණ කිරීමට සමත් විය.

ධනංජය ද සිල්වාට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටිමට ඉඩ නොදුන් කගිසෝ රබාඩා, ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ලකුණු 5 ට දවාගත්තේය. පුණුරූපන නැරඹීමේදී පන්දුව පා ඉන්නෙන් ඉවතට ඇදී යන අකාරයක් දැකිය හැකිවුවද විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ලබා නොගත් හෙයින් ධනංජයට පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

ෆෆ් ඩුප්ලෙසිගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 367 ක් රැස්කිරීමට සමත් විය.

එහිදී තම එක්දින ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ෆෆ් ඩුප්ලෙසි, පන්දු 89 කදී සිය අටවැනි එක්දින ශතකය සම්පූර්ණ කරමින් මෙම තරගාවලියේදී ඔහු ලබාගත් දෙවැනි ශතකය ලබාගැනීමටද සමත් විය.

ළහිරු මදුෂංක යැවු පන්දුවකට ගැසු පහරකින් ඉහළ නැගි පන්දුව අසේල ගුණරත්න රැකගැනීමත් සමගින් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ ඩුප්ලෙසිගේ ඉනිම ලකුණු 185 කට සීමා විය. දැවියන විට පන්දු 141 කට මුහුණදී සිටි ඩුප්ලෙසි, හයේ පහර තුනකින් සහ හතරේ පහර 16 කින් සිය ඉනිම අලංකාර කළේය. ෆර්හාන් බෙහාර්දීන් සමග එක්ව පස්වැනි කඩුල්ල සදහා පන්දු 35 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් පැවැත්විමටද ඩුප්ලෙසි සමත් විය.

ලකුණු 3 ක් මෙපිටින් දැවීයාම හේතුවෙන් දකුණු අප්‍රිකානු පිතිකරුවකු එක්දින තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමීමට ඩුප්ලෙසිට නොහැකි වූ අතර 1996 වසරේදී ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 188 ක් රැස්කරමින් ගැරී කර්ස්ටන් එම වාර්තාව පිහිටුවා තිබිණ.

පන්දු 51 කදි හතරේ පහර 4 ක් සමගින් සිය 50 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට ඒ. බී. ඩිවිලියර්ස් සමත් විය. සචිත් පතිරණගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඩිවිලියර්ස් ලකුණු 64 කට දැවීයාමත් සමග තෙවැනි කඩුල්ල සදහා ඩුප්ලෙසි සමග පන්දු 119 කදී පැවැත්වූ ලකුණු 137 ක සම්බන්ධතාව බිඳ වැටුණි.

හසිම් අම්ලාගේ දැවියාමෙන් පසු ක්වින්ටන් ඩි’කොක් සමගින් එක්වූ ෆෆ් ඩුප්ලෙසි, දෙවැනි කඩුල්ල සදහා පන්දු 87 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් පැවැත්වීය. සිය නමවැනි එක්දින අර්ධ ශතකය පන්දු 40 කදී සම්පූර්ණ කළ ක්වින්ටන් ඩි’කොක් ලකුණු 55 ක් ලබා සිටියදී සචිත් පතිරණගේ පන්දුවක් හමුවේ උපුල් තරංග අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
Powered by Blogger.