Header Ads

වාසනාව සොයා ශ්‍රී ලංකා පිල ඩර්බන් යයි

කරට කර සටනක් දී තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-1කින් සමකරගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද (1) දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ඩර්බන් නුවර කිංග්ස්මේඩ් තරග බිමට එක්වෙයි.

ශ්‍රී ලංකා පිල විස්සයි20 තරගාවලියේදී විස්මිත පෙරළියක් සිදුකරමින් වාර්තාගත තරගමාලා ජයක් ලැබුවත් ආක්‍රමණශීලී ක්‍රීඩකයන්ගෙන් සමන්විත දකුණු අප්‍රිකානු පිල හමුවේ පෝර්ට් එලිසබෙත් නුවර පැවැති පළමු එක්දින තරගයෙන් පරාජයට පත්විය. ඒ තරගයෙන් ලැබූ පරාජය අකා මකා දමමින් නැවත වාරයක් සුපුරුදු දස්කම් අතරට සේන්දුවීමට අද තරගයේදී ශ්‍රී ලංකා පිල දැඩි උත්සාහයක නිරතවනු ඇත.

පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් අතරින් ලකුණු අතරට ගිය එකම පිතිකරු බවට පත්වූ කුසල් මෙන්ඩිස් අගනා අර්ධ ශතකයක් රැස් කිරීමට සමත්වූවත් ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීමට හේතුවූයේ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන් අසාර්ථක වීමය. එම තරගයේදී ශ්‍රි ලංකා ඉනිම උඩුයටිකුරු වීමට බලපෑවේ දඟපන්දු යවන ඉම්රාන් තාහීර්ගේ පන්දු යැවීමය. ඔහුට අගනා සහයක් දුන් වේන් පානෙල් ද ශ්‍රී ලංකා පිලේ පිතිකරු ලැයිස්තුව අඩපණ කිරීමට දායකත්වය ලබා දුන්නේය.

අද තරගය පැවැත්වෙන කිංග්ස්මේඩ් පිටිය වේගපන්දු යවන්නන්ට වඩාත් උචිත තණතීරුවක් බව තරග ඉතිහාසය නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වෙයි. ඒ අතරතුරදීම පිතිකරුවන්ට ද තරමක් වාසිදායක තණතීරුවක් ලෙස හැසිරෙන කිංග්මේඩ් තණතීරුවේ මිට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ විශිෂ්ට දස්කම් ඉතිහාසයේ ලියැවී තිබේ.

වසර 2003 එක්දින ලෝක කුසලාන තරගමාලාවේ දකුණු අප්‍රිකානු පිල සමග පැවැති මූලික වටයේ තීරණාත්මක තරගයේ ලකුණු සමකර ගැනීමට සමත්වූ ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම කිංග්මේඩ් ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන සිදුවීමකි. එමෙන්ම ශ්‍රී ලංකා පිලේ අවසන් දකුණු අප්‍රිකානු සංචාරයේ දී තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව දකුණු අප්‍රිකානු භූමියේදීම පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වූයේ ද ඩර්බන් ක්‍රීඩාංගණයේ දීය.

ඩර්බන් ක්‍රීඩාංගණ ඉතිහාසයේ ශ්‍රී ලංකා පිල හමුවේ එවැනි වාර්තා සටහන්වී තිබුණ ද එය අද තරගයේ දී ප්‍රතිවාදින් පසුබෑමකට ලක් කෙරෙන සාධකයක් නොවනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය රඳා පවතින්නේ අද තරගයේ දී ක්‍රීඩකයන් දක්වන දස්කම් මතය.

අද තරගයේදී ද ශ්‍රී ලංකා පිල එවැනි පෙරළිකාර දස්කමක් පෙන්නුම් කිරිමට සමත්වූවහොත් මේ තරගාවලියේ ඉතිරි තරගවල දී සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට පසුබිම නිර්මාණය වනු ඇත. කෙසේවෙතත් මේ ක්‍රීඩාංගණයේ මීට පෙර තරග වැදුණු අවසන් තරග 4ම ජයගැනීමට සමත්වූ දකුණු අප්‍රිකානුවන් අද තරගයේදී ශ්‍රි ලංකා පිලට දැඩි අභියෝගයක් වනු නිසැකය. එම තරග 4න් තරග 3කදීම කාසියේ වාසිය දිනාගනු ලැබුවේ දකුණු අප්‍රිකානුවන්ය. එබැවින් අද තරගයේදී ද කාසියේ වාසිය තරගයේ තීරණාත්මක සාධකයක් බවට පත්වනු ඇත.
Powered by Blogger.