Header Ads

දකුණු අප්‍රිකාවට ලකුණු 121 ක ජයක්

ඩර්බන් නුවරදී අද (01 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 121 ක ජයක් හිමිකරගත් දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පැවත්වෙන එක්දින තරගාවලියේදී 2-0 ක් ලෙස පෙරමුණ ගත්තේය. ලකුණු 308 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රි ලංකාවට ඕවර 37.5 කදි සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 186 ක් පමණි.

මැද පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් නොදුන් දකුණු අප්‍රිකානුවෝ අවසන් කඩුලු හතර ලකුණු 54 ක් තුළ දවාගැනීමට සමත්වූහ.

ලකුණු 308 ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 14 වැනි ඕවරයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 74 ක් ලබා සිටි නමුත් එක ලකුණක් ලබාගැනීමේ පමාවෙන් කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පීඩනය වැඩි විය. පිත්තේ දාරයේ වැදුණු පන්දුව ක්වින්ටන් ඩි’කොක් රැකගැනීමත් සමගින් වැඩි බලාපොරොත්තු රඳවා සිටි දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම ලකුණු 36 කට අවසන්වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු හයකට ලකුණු 132 ක් විය.

කඩුලු එකින් එක බිඳ වැටෙද්දී පස්වැනි කඩුල්ල සදහා දිනේෂ් චන්දිමාල් සහ අසේල ගුණරත්න පැවැත්වූ ලකුණු 44 ක සම්බන්ධතාවය, අවාසනාවන්ත දුවද්දී දැවීයාමක් නිසා අවසන්විය. ගුණරත්න - චන්දමාල් සම්බන්ධතාව බිඳ වැටීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම කුමක්ද යන්න පැහැදිළි වූ නමුත් නොබියව ඉදිරියට පැමිණි සචිත් පතිරණ පන්දු 35 ක් ලකුණු 26 ක් ලබාගත්තේ කිසියම් බලාපොරොත්තුවක් ඇති කරමිනි. එහෙත් වැඩි වේලාවක් තමන්ගේ පිතිහරඹය කරගෙන යාමට පතිරණට නොහැකි විය.

පතිරණගේ දැවී යාමත් ශ්‍රී ලංකා ඉනිමේ අවසානයත් අතර පරතරය ලකුණු 5 ක් පමණක් විය.

කාසියේ වාසිය අහිමි වූ නමුත් පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 50 කදී කඩුලු 6 කට ලකුණු 307 ක් ලබාගත්තේය. අවසන් ඕවරයේදී නුවන් කුලසේකර දැඩි ප්‍රහාරයකට ලක්කරමින් ලකුණු 20 ක් උදුරාගත් දකුණු අප්‍රිකානු පිතිකරුවෝ අවසන් ඕවර 10 දී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 90 ක් ලබාගැනීමට සමත්වූහ.

ඩුප්ලෙසී දැවියාමෙන් පසු ඬේවිඞ් මිලර් සමග එක්වූ ක්‍රිස් මොරිස් හයවැනි කඩුල්ල සඳහා පන්දු 40 කදී ලකුණු 60 සම්බන්ධතාවයක් පැවැත්වූ අතර සුරංග ලක්මාල්ගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් දෙමින් ක්‍රිස් මොරිස් ලකුණු 26 කට දැවී ගියේය.

ෆෆ් ඩුප්ලෙසී (105) සහ ඬේවිඞ් මිලර් (නොදැවී 117) එක්ව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 117 ක් සම්බන්ධතාවයක් පැවැත්වූහ. ශ්‍රී ලංකාවට එරෙහිව පස්වැනි කඩුල්ල සදහා පැවැත්වූ හොඳම සම්බන්ධතාව මෙය වන අතර මීට පෙර පස්වැනි කඩුල්ල සදහා පැවැති හොදම සම්බන්ධතාව ලෙස පැවැතියේ නීල් මැකෙන්සී සහ මාර්ක් බවුචර් විසින් පැවැත්වූ ලකුණු 100 ක සම්බන්ධතාවයයි.

නුවන් කුලසේකරගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් දෙමින් ෆෆ් ඩුප්ලේසී දැවියන විටදී ලකුණු 105 ක් ලබාසිටි අතර පන්දු 120 කට මුහුණදී හතරේ පහර හතකින් සහ හයේ පහරකින් ඉනිම අලංකාර කිරීමට සමත්විය. ලකුණු 63 ක් ලබාසිටි ෆෆ් ඩුප්ලෙසි දුන් උඩපන්දුවක් ස්ලිප්හී පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා විසින් අතහරිනු ලැබීම නිසා තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවූ දකුණු අප්‍රිකානු ටෙස්ට් පිලේ නායකයා පන්දු 113 කදී සිය 7 වන එක්දින ශතකය සම්පූර්ණ කරගැනිමට සමත්විය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වැනි එක්දින තරගය ලබන සෙනසුරාදා (4 වැනිදා) ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වේ.
Powered by Blogger.