Header Ads

වරකාපොල ඝාතනය-තොරතුරු රැසක් අනාවරණය වෙයි

වරකාපොල ප්‍රදේශයේ තිබී සොයාගන්නා ලද අභිරහස් ලෙස මියගිය තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ(10) අළුයම වරකාපොල, ඇත්නාවල ප්‍රදේශයේ තිබී වයස අවුරුදු 32ක් පමණ වන අදාළ තරුණයාගේ මළ සිරුර සොයාගනු ලැබීය.

පොලීසිය සඳහන් කළේ අදාළ මළ සිරුර සොයාගන්නා විට දෑත් සහ දැස් බැඳ තිබූ බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වරකාපොල පොලීසිය මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ පස්යාල ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් ඝාතනය කර මෘත ශරීරය වරකාපොල ප්‍රදේශයේ දමා ගොස් ඇති බවයි.

ප්‍රදේශයේ සිදුවු සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටි කණ්ඩායමක් ඇතිවු සැකයක් මත මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ පුද්ගලයින් මේ වන විට ප්‍රදේශය අතහැර ගොස් ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වරකාපොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්.ජයකාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදුකෙරෙයි.
Powered by Blogger.