Header Ads

සොයුරිය පැරදූ සෙරීනා ඉතිහාස ගත වෙයි

මෙල්බර්න් නුවරදී පෙරේදා (28) පැවැති අවසන් මහ තරගයේදී පිට පිට තරග වට දෙකකින් ලකුණු 6-4 ක් සහ 6-4 ක් ලෙස සිය වැඩිමල් සොයුරිය වීනස් පරාජය කළ සෙරීනා විලියම්ස් ඕස්ට්‍රේලියානු විවෘත කාන්තා ටෙනිස් ශූරතාව දිනා ගත්තාය. මේ ජයග්‍රහණයත් සමග ග්‍රෑන්ඞ් ස්ලෑම් විවෘත තරග ඉතිහාසයේ වැඩිම ශූරතා ගොන්නක් දිනාගත් ක්‍රීඩිකාව ලෙස ජර්මනියේ ස්ටෙෆී ග්‍රාෆ් සමග ඇයට තිබුණු කුසලාන 22 ක සම වාර්තාවේ තනි අයිතිය තම නමට ලියා ගැනීමටද සෙරීනා සමත් වුවාය.

සෙරීනාගේ 23 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ ටෙනිස් වාර්තාපොතට තවත් සටහන් කිහිපයක්ම එකතු කිරීමට සමත්වූ එකකි.

සිය 7 වැනි ඕස්ට්‍රේලියානු ටෙනිස් කිරුළ අත්පත් කරගත් මොහොතේ 35 හැවිරිදි මේ අමෙරිකානු ක්‍රීඩිකාව අන්තර් ජාතික කාන්තා ටෙනිස් පිටියේ අපරාජිත රැජන ලෙස ඇතැම් විචාරකයෝ හඳුන්වන්නට වූහ.

මේ ජයග්‍රහණයෙන් සෙරීනා අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල නොම්මර එකේ ක්‍රීඩිකාව ලෙස නැවත පෙරමුණ ගැනීමටත් සමත්වූවාය. එම ස්ථානය ඊට පෙර හිමිවී තිබුණේ ජර්මනියේ ඇන්ජලික් කේබර්ටය.
Powered by Blogger.