Header Ads

මැතිව්ස් - සඳකැන් ශ්‍රී ලංකාව දිනවති

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයේ ඉනිමත්, ලක්ෂාන් සඳකැන්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගය කඩුලු 3 කින් ජයගනිමින් තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකාව අද (22 වැනිදා) සමත්විය.

ඉතාමත් වේදනාකාරී ආබාධයක් වන කලව පිටුපස මස්පිඬුව ඉරී ගියද අසීරු තත්වයක සිටි අවස්ථාවේ කණ්ඩායම අත්නොහැරගිය ඇන්ජලෝ මැතිව්ස් නායකයකු සතුවිය යුතු චිත්ත ධෛර්යය මේ යයි කියා පාමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණයට කරා කැඳවාගෙන ගියේය.

ජයග්‍රහණය සදහා අවසන් ඕවරයේදී ලකුණු හතක් ලබාගැනීමට අවශ්‍යවිය.

අවසන් ඕවරයේ පළමු පන්දුවට මැතිව්ස් දුන් උඩපන්දුව අත්හැරීම නිසා ලකුණක් ලබාගැනීමේ අවස්ථාවක් තිබුණද අනෙක් අන්තයේ සිටි පිතිකරුවා පන්දු යවන්නන්ට නිරාවරණය නොකළ මැතිව්ස් තමන් වෙත දිව එමින් සිටි නුවන් කුලසේකර ආපසු හරවා යැවීය.

දෙවැනි පන්දුව නරඹන්නන් අතරට යැවූ මැතිව්ස් තරගයේ ලකුණු සමකිරීමෙන් පසුව තුන්වැනි පන්දුවට ගැසූ පහරින් තවත් ලකුණක් ලබාගත හැකිව තිබුණද නායකයාගේ අරමුණ වූයේ අර්ධ ශතකය සම්පූර්ණ කිරීම නොව කණ්ඩායම ජයග්‍රහණය කරවීමයි. ටේ‍රවර් ස්මට්ස් යැවූ අවසන් ඕවරයේ සිවුවැනි පන්දුව නැවත වරක් නරඹන්නන් අතරට යැවූ මැතිව්ස් ශ්‍රී ලංකා පිල මෙම සංචාරයේදී ලබාගත් පළමු ජයග්‍රහණය ගෙන දුන්නේය.

ලකුණු 113 ක ඉලක්කයක් කරා යාමේදී ලකුණු 35 කට කඩුලු 3 ක් බිඳ වැටිණ. කඩාවැටුණු ඉනිම ගොඩනැගීම නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උපනායක දිනේෂ් චන්දිමාල් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකරමින් සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 51 ක් රැස්කර සිටියදී ලුන්ගී නිගිගේ පන්දුවකින් චන්දිමාල් දැවියනවිටදී මුළු ලකුණු සංඛ්‍යාව 86 ක් විය.

ලුන්ගි නිගී ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිල අමාරුවේ දැමූවද පිටියේ රැඳී සිටි ශ්‍රී ලංකා නායකයා නොසැලී තම අරමුණ කරා යමින් සිටියේය.

දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් කඩුලු තුන ලකුණු හතක් තුළ දවාගැනීමට නුවන් කුලසේකර සහ ඉසුරු උදාන සමත්වීමත් සමගින් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හමුවේ දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තාවිය. තරගයේ දොලොස්වැනි ඕවරයේ සිව්වැනි සහ හයවැනි පන්දුවලදී වේන් පානෙල් සහ ඇන්ඞ්ල් පෙලුක්වායෝ දවාගත් ලක්ෂාන් සඳකැන් දකුණු අප්‍රිකානු පිතිකරුවන් දමනය කිරීමට සමත්විය

අද දින විස්සයි20 වරම් හිමිකරගත් ලක්ෂාන් සඳකැන් යැවු පළමු පන්දුවට කඩුලු රකින දිනේෂ් චන්දිමාල් අතට උඩපන්දුවක් දෙමින් මැන්ගලිසෝ මොසේලි ලකුණු 11 කට දැවීයන විටදී මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු තුනකට ලකුණු 41 ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්විය.

විස්සයි:20 අන්තර්ජාතික තරගයකදී පළමු පන්දුවෙන් කඩුල්ලක් දවාගත් ලොව 15 වැනි පන්දුයවන්නා බවට පත්වූ ලක්ෂාන් සඳකැන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දස්කම කළ පළමු පන්දු යවන්නා බවට පත්විය.

හයවැනි ඕවරය යැවූ සික්කුගේ ප්‍රසන්න දැඩි ප්‍රහාරයකට ලක්කරමින් ලකුණු 15 ක් උදුරාගැනීමට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සමත්වූහ. එහෙත් ඊළඟ ඕවරය යැවීමට සඳකැන් කැඳවූ නායක මැතිව්ස් එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගත්තේය.
Powered by Blogger.