Header Ads

සීතල දරාගන්න බැරිව ලිප ළඟට වෙලා ගිනි තපමින් සිටි පුංචි දියණිය මරු තුරුලට ගිය හැටි

තම නිවසේ ළිප අසල වූ බංකුවකට නැඟී සීතලට ගිනි තපිමින් සිටි පෙරපාසල් වියේ පසුවන සිඟිති දියණියක්‌ පසුගිය 12 වැනි දින උදෑසන සිරුරට ගිනි ඇවිළී රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්වූවාය.

කන්දකැටිය ට්‍රැක්‌ 1/102 පදිංචි ඩබ්ලිව්. ඒ. නිපුනි හංසමාලී (5) දියණිය මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූවාය.

ළිප අසලට වී ගිනි තපිමින් සිටි මෙම දැරිය හැඳ සිටි ඇඳුමට ගිනි ඇවිලී ඇති අතර ඇය කෑ ගසන හඬ අසා එතනට පැමිණි වයස අවුරුදු 10 ක්‌ වන ඇගේ සොහොයුරා අතින් ගසා වතුර කළගෙඩියක්‌ ඇඟට හලා ගින්න නිවා දමා ඇත.

පසුව දැරියගේ මව විසින් ඒ අවස්‌ථාවේම පිළිස්‌සුම් තුවාල ලබා සිටි දැරිය කන්දකැටිය රෝහලටත් අනතුරුව මහියංගණ හා පේරාදෙණිය රෝහල්වලටත් ඇතුළත් කිරීමෙන් පසුව පසුගිය 12 වැනි දින පස්‌වරු 5.00 ට පමණ ඇය ජීවිතක්‍ෂයට පත්ව ඇත.

තම නැඟණියගේ සිරුරට ගිනි ගන්නා අයුරු සියෑසින් දුටු ඇගේ එකම සොහොයුරා වන වියලුව ඩී. එස්‌. සේනානායක විද්‍යාලයේ පස්‌වැනි පන්තියේ ඉගෙනුම ලබන පසිඳු ලක්‌මාල් (10) මෙසේ කීය.

අම්මා උයනකම් නංගී උදේට ළිප ළඟ බංකුවට නැඟල ගිනි තපිනවා. එදත් එයා එතන ඉන්න ඇති. මම හිටියේ මෙහා කාමරේ.

එක පාරටම මට නංගී කෑගහන සද්දයක්‌ ඇහුණ. මම කුස්‌සියට දුවගෙන යනකොට නංගිගේ ඇඟට ගිනි ඇවිලිලා තිබුණා. එයා හයියෙන් අඬ අඬා අයියේ මාව බේර ගන්න කියලා කෑ ගැහුවා. මම අතින් ගහල ගහල ගින්න නිවන්න ගියත් බැරි වුණා. මගේ ඇඟිලිත් පිච්චුණා. ඊට පස්‌සේ මම වතුර කළයක්‌ අරන් නංගිගේ ඇඟට වත්කරල ගින්දර නිවල දැම්මා.

මම හිතන්නේ නංගි ලිපට ලාම්පු තෙල් දාන්න ගිහින් තියෙනවා. ඒව ගවුමටත් ඉහෙන්න ඇති.

හංසමාලි දියණියගේ මව ආර්. එම්. චාන්දනී ශ්‍රියා රත්නායක –

“දුව ළිප ළඟ බංකුවට වෙලා වෙනදත් සීතලට ගිනි තපිනවා. එදත් එයා ගිනි තපින අතරේ තමයි, මම වැසිකිළියට ගියේ. මම මගට යද්දිම දුව කෑගහන සද්දේ ඇහුණා. මම දුවගෙන එනකොට එයා කිව්වා අම්ම මම පිච්චුණා කියලා. මාව බේරගන්නත් කීවා. වෙලාව උදේ 6.20 ට ඇති. දුව ඇඳගෙන හිටිය ගවුම මුළුමනින්ම පිච්චිලා තිබුණා. එයාගෙත් බෙල්ලෙන් පහළ ඔක්‌කොම පිච්චිල තිබුණා.

මම වීල් එකක්‌ ගෙනත් ඉක්‌මනට දුව කන්දකැටිය රෝහලට ගෙනිච්චා. එතැනින් පැයක්‌ යන්නත් ඉස්‌සර දරුව මහියංගණය රෝහලට ගිලන් රථයෙන් යෑව්වා. එහේ ප්‍රතිකාර කරල පේරාදෙණියට යෑව්වත් දුව එදා පහට විතර අපිව දාලා ගියා.

මගේ දුව රෝහලට ගෙනියනකම්ම කීව මාව බේර ගන්න කියලා. රිදෙනවා කියලත් කීවා. ඒත් මහියංගනෙන් එහාට එයා කතා කළේ නැහැ.

හංසමාලී දියණියගේ පියා ඩබ්ලිව්. ඒ. මංජුල ප්‍රදීප් නාවික හමුදා සෙබළෙකි.

සිය දියණිය නිතිපතාම තමන් සමඟ කතා කරන බවත් සිද්ධියට කලින් දිනයේදී ඇය තමන්ට කතා කළ බවත් ඔහු පැවැසීය. පෙර පාසැල් යැමට මග බලා සිටි, තම දියණියට ගිය නිවාඩුවට පැමිණ අවශ්‍ය උපකරණ මිලදී ගෙන දුන් බවත් ඇය පෙර පාසැල් යැමට මග බලමින් හිඳි බවත් ඔහු පැවැසීය.

කන්දකැටිය පොලිසිය සිද්ධිය පිළිබද පරීක්‍ෂණ පවත්වයි.
Powered by Blogger.