Header Ads

ඕස්ට්‍රේලියා රජයට ගෞරවය පිරිනමනවා

ණයක් වශයෙන් නොව මූල්‍ය සහ තාක්ෂණික ආධාර වශයෙන් රුපියල් බිලියන 1.6ක මුදලක් ශී‍්‍ර ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා රජයට ගෞරවය පිරිනමන බව නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් බ‍්‍රයිස් හචිසන් මහතාගේ සහ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් යුතුව අද (11) දින සර්වග‍්‍රාහී වර්ධනයක් සඳහා වන නිපුණතා වැඩසටහන එළිදැක්වීය.

පුහුණු වැඩසටහන් සහ රැකියා නියුක්තියන් වෙත මෙන්ම කුඩා පරිමාණයේ ව්‍යාපාර සඳහා උපදෙස් ලබා දීම ඔස්සේ ද ශ‍්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධනය කිරීම සඳහා වසර 4ක කාලයක් පුරා රුපියල් බිලියන 1.6ක මුදලක් මූල්‍ය සහ තාක්ෂණික ආධාර වශයෙන් සැපයීමට ඔස්ටේ‍්‍රලියානු රජය කටයුතු කරයි.

ඉහළ නිපුණතාවකින් යුතු ශ‍්‍රම බලකායක් නිර්මාණය කර ගැනීමට මෙම වැඩසටහන තුළින් ශ‍්‍රී ලංකාවට ඉඩ සැලසෙන අතර ඒ ඔස්සේ ප‍්‍රමුඛතම සංචාරක ආකර්ෂණීය මධ්‍යස්ථානයක් බවට මෙරට පත් කර ගැනීමට අවස්ථාව උදාවේ යැයි විශ්වාසය පළ කෙරේ.

නිපුණතා සංවර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් අපට ඉතා හොඳ අවබෝධයක් තිබෙන බවත්, ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක‍්‍රමයක් මෙන්ම ලොව හොඳම වෘත්තීය පුහුණු පද්ධතියක් අප රට සතුව තිබෙන බවත් මෙහිදී හචිසන් මහතා කියා සිටියේය.

ඔස්ටේ‍්‍රලියානු ජනතාව සහ ශ‍්‍රී ලංකා ජනතාව අතර පවතින විශේෂිත වූ ඓතිහාසික ද්විපාර්ශ්වික සම්බන්ධතාව මෙවැනි වැඩසටහන් තුළින් තවදුරටත් මූර්තිමත් වනු ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

මෙම වැඩසටහනින් දේශීය ප‍්‍රජාවන්ට සහ ව්‍යාපාරයන්ට විශාල වශයෙන් ප‍්‍රතිලාභ හිමි වන අතර අම්පාර, මඩකලපුව, ත‍්‍රිකුණාමලය සහ පොළොන්නරුව යන දිස්ත‍්‍රික්ක වෙත මෙම ව්‍යාපෘතියෙන් අවධානය යොමු කරනු ලබයි.

මෙම වැඩසටහන යටතේ අර්ධ රැකියා නියුක්තියේ පසුවන කාන්තාවන්, තරුණ තරුණියන් සහ ආබාධිත තත්ත්වවලින් පෙළෙන පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩි ප‍්‍රමුඛතාවක් දෙනු ලැබේ.

සංචාරක ක්ෂේත‍්‍රයේ විවිධ වූ වැඩසටහන් ඔස්සේ සහයෝගය දැක්වීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයකි. ඒ අනුව ආයතන හිමිකරුවන්, නවාතැන් සහ ප‍්‍රවාහන පහසුකම් සපයන්නන්, දිස්ත‍්‍රික් සැලසුම් නිලධාරීන්, කර්මාන්ත නියාමකයන් මෙන්ම ව්‍යාපාරික මණ්ඩල සඳහා ද වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලැබේ.
Powered by Blogger.