Header Ads

ඇමතිකම් දරන්නේ ශ්‍රීලනිප ආණ්ඩුවක විතරයි

තමාගේ එකම බලාපොරොත්තුව ශ්‍රීලනිපයේ ආණ්ඩුවක් බිහිකිරීම බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.

තමන් පසුගිය දෙසැම්බරයේ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්වූයේ ආනමඩුව ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම නිසා බවත්, ශ්‍රීලනිප ආණ්ඩුවක මිස එජාප ආණ්ඩුවක අමාත්‍ය ධූරයක් දැරීමට තමන් කිසිසේත්ම කැමැත්තක් නොදක්වන බව ඔහු කියා සිටියේ අද දෙරණ කළ විමසීමකදීය.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගත් ඔහුගෙන් අප විමසා සිටියේ ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේද යන්නයි.

තමාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන යන දෙදෙනා මධ්‍යයේ පාර්ලිමේන්තුව තුළ තමාට අසුනක් හිමි වුවද, ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට කටයුතු නොකරන බව ඔහු සඳහන් කළේය.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අනූ පස් දෙනා සමග ඉදිරියේදී ආණ්ඩුවක් බිහිකිරීමට කැපවන බවත්, පක්ෂ නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව සමග මෙන්ම තම හෘද සාක්ෂියට එකඟව විපක්ෂයේද කටයුතු කළ හැකි බවට නිදහස දී ඇති බැවින් ගැටළුවක් ඇති නොවන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Powered by Blogger.