Header Ads

ජී.එස්.පී ප්ලස් වෙනුවෙන් අනතුරුදායක කොන්දේසි නෑ

ජී.එස්.පී.ප්ලස් සහනය නැවත ලබාගැනීම සඳහා මෙරටට ඉතා අනතුරුදායක කොන්දේසි 58ට රජය එකඟ වී ඇති බවට පල වන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර සිටියි.

අදාළ සහනය වත්මන් ආණ්ඩුව විසින් රට තුළ යහපාලනය, මානව හිමිකම් හා තිරසර සංවර්ධනය ස්ථාපිත කිරීම සඳහා දරණ උත්සාහය වෙනුවෙන් ලබාදුන් දිරිගැන්වීමක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවට ජී.එස්.පී.ප්ලස් සහනය ලබාදෙන බවට යුරෝපා කොමිසම පසුගිය 11 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ශ්‍රී ලංකාවේ දැනට සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් කරන දිරිගැන්වීමක් ලෙස ශ්‍රී ලංකාවට යුරෝපා වෙළෙඳපළ වෙත පිවිසීමට ඉඩකඩ පුළුල් කිරීම සඳහා යෝජනා කරන බව යුරෝපා කොමිසම නිකුත් කළ එම නිවේදනයේ දක්වා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ජී.එස්.පී. ප්ලස් සහනය රටට අහිතකර කොන්දේසීවලට එකඟවීම වෙනුවෙන් ලබාදුන් සහනයක් නොව අගය කිරීමේ පදනම මත ලබාදුන් සහනයක් බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ පැහැදිලිව දැක්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙරටට ජී.එස්.පී.ප්ලස් සහනය ලබාගැනීම සම්බන්ධයෙන් පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවල දී මානව හිමිකම් සහ යහපාලනය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පැහැදිලි කළ අතර නැවත එම සහනය මෙරටට ලබාදීමට යුරෝපා කොමිසම ගත් තීරණය එම ස්ථාවරයන්ට එකඟවීමක් ලෙස සඳහන් කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියි.
Powered by Blogger.