Header Ads

එක බත්පත බෙදාගෙන කා මිතුරියගේ ඒ.ටී.එම්. කාඩ්පතින් විසිදාහකට ඇරලා

බළන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ අපූරු සිදුවීමකි. තරුණියන් දෙදෙනකු බළන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන්නේ කර්මාන්ත ශාලාව අසලම නේවාසිකාගාරයක නැවතීගෙනය. දිනක් එක් මිතුරියක් නගරයට යෑමට සූදානම් වූයේ ඇයට අවශ්‍ය කිසියම් භාණ්ඩ මිලදී ගැනීමටය.

එම අවස්ථාවේ අනෙක් මිතුරිය කියා සිටියේ මගේ බැංකු කාඩ්පතින් (ඒ.ටී.එම්.) රුපියල් පන්දහසක් රැගෙන එන ලෙසටය. ඒ අනුව ඇය බැංකු කාඩ්පතේ රහස්‍ය අංකය තම මිතුරියට දුන්නාය.

නගරයට ගිය මිතුරිය ටික වේලාවකින් ආපසු නේවාසිකාගාරයට පැමිණියාය. ආ... මෙන්න ඔයාගෙ සල්ලි. මෙන්න ඒ.ටී.එම්. කාඩ් එක.

මෙසේ ටික කලක් ගතවී ගියේය. ඉහත කී ඒ.ටී.එම්. කාඩ්පත හිමි තරුණිය දිනක් නගරයට ගියේ තම නිවෙසට අවශ්‍ය මුදල් බැංකුවෙන් ලබා ගැනීමටය. එහෙත් බැංකු ගිණුම පරීක්‍ෂා කළ ඇයට දැනගන්නට ලැබුණේ දින කිහිපයකට ඉහතදී ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් තමාගේ ගිණුමින් රුපියල් විසිදහසක් ලබාගෙන ඇති බවය.

ඇය මේ පිළිබඳ බැංකු කළමනාකරුට දැන්වූ අතර කළමනාකාරවරයාගේ උපදෙස් මත බළන්ගොඩ පොලිසිය වෙත පැමිණිලි කළාය. පොලිස් නිලධාරීන් ඇයගෙන් විමසා සිටියේ මේ පිළිබඳ සැක සහිත කවුරුන් හෝ සිටිනවාද යන්නයි. ඇය කියා සිටියේ සැක සහිත කිසි කෙනෙක් නොමැති අතර තම නේවාසිකාගාරයේ මිතුරිය සමඟ සිටින බවයි.

වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඇය නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරයේ මිතුරියගෙන් කරුණු විමසා සිටියහ. එහෙත් ඇය තරයේ කියා සිටියේ මිතුරියගේ බැංකු ගිණුමින් මුදල් ලබා නොගත් බවයි.

පසුව පොලිස් නිලධාරීන් බළන්ගොඩ අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව අදාළ බැංකුවේ ආසන්න දින කිහිපයක් තුළ ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබාගත් පුද්ගලයන් පිළිබඳ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්‍ෂා කළහ. පැමිණිල්ල කළ තරුණිය පොලිස් ස්ථානයට කැඳවූවාය. මෙම සී.සී.ටී.වී කැමරා පද්ධතියේ රූප රාමුවල සිටින තරුණිය හඳුනනවා දැයි විමසා සිටියහ. ඇයට තම මිතුරිය හඳුනා ගැනීමට එතරම් වේලාවක් ගතවූයේ නැත. ඔව්... මේ මගේ මිතුරිය. ඇය පොලිස් නිලධාරීන්ට කීවාය.
වහාම පොලිස් නිලධාරීන් කාන්තා නිලධාරිනියන්ගේ සහාය ඇතිව සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන පසුගිය 10 දින බළන්ගොඩ මහෙස්ත්‍රාත් දුමින්ද පී. මුදුන්කොටුව මහතා වෙත ඉදිරිපත් කළහ.

එහිදී සැකකාර තරුණිය සිය නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ තමා වැරැද්ද පිළිගන්නා බවත්, අදාළ මුදල් ආපසු ලබාදීමට පොරොන්දු වන බවත්ය. ඒ අනුව රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත සැකකාරිය මුදාහැරිය අතර ලබන 24 දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.
Powered by Blogger.