Header Ads

තරඟාවලිය ජයගත් සිංහ කණ්ඩායමේ නායක උපුල් තරංග කියන අපූරු කතාව

පසුගිය සති දෙක පුරා නවකයන්ගෙන් පිරි තම කණ්‌ඩායම සියලු අභියෝග අත උස්‌සා භාර ගත් බැවින් සිම්බාබ්වේ පැවැති තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය සාර්ථකව ජයග්‍රහණය කිරීමට හැකිවූ බව කණ්‌ඩායමට නායකත්වය ලබාදුන් උපුල් තරංග පවසයි. සිම්බාබ්වේ සමග (27 දා) පැවැති අවසන් මහා තරගයේදී කඩුලු හයක්‌ අතැතිව තිබියදී ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලංකා පිලට උපුල් තරංග සටන්කාමී අර්ධ ශතකයක්‌ (57) දායාද කිරීමට සමත් විය.

”මේ අවස්‌ථාව මම ඉතාමත් සතුටට පත්ව ඉන්න වෙලාවක්‌.” යෑයි තරගයෙන් අනතුරුව පැවසූ තරංග වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය. ”මේ ජයග්‍රණයේ සියලු ගෞරවය තරුණ කොල්ලන්ට හිමිවිය යුතුය. පසුගිය සති දෙකේදී ඔවුන් හොඳ රාජකාරියක්‌ කණ්‌ඩායම සහ රට වෙනුවෙන් ඉටු කළා. අපි එක පවුලක්‌ වගේ සබඳතාවන් පවත්වමින් සාර්ථක වුණා. කුසල් මෙන්ඩිස්‌ ඉතාමත් හොඳින් පන්දුවට පහරදෙමින් තරග දිනවන්නෙක්‌ බව පෙන්නුවා. හැම නවකයෙක්‌ම අත උස්‌සල අවශ්‍ය වෙලාවට තමන්ගේ වගකීම ඉටුකළා.”

කෙසේ වෙතත් මේ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා පිල ලබන මාසයේදී දකුණු අප්‍රිකාවේදී දීර්ඝ ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරගාවලියකට සහභාගි වන අතර ඒ සම්බන්ධයෙන්ද තරංග පවසා සිටියේ, ‘අපිට ඉදිරියේදී දකුණු අප්‍රිකාව සමග දැඩි තරග මාලාවක්‌ තියෙනවා. ඒකට තවත් මහන්සි වෙලා වැඩ කරන්න වෙලා තියෙනවා.” යනුවෙනි.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ උපනායක දිනේෂ් චන්දිමාල් එම තරගාවලියේදී යළිත් ශ්‍රී ලංකා පිලට එක්‌වීමට නියමිතය.

‘මෙන්ඩිස්‌’ ඉනිමට ලැබුණු වාර්තාගත සම්මාන ද්විත්වය

සමස්‌ත තරගාවලියේදී ශ්‍රී ලංකාවට තීරණාත්මක ජයග්‍රහණ දෙකක්‌ ලබා ගැනීම වෙනුවෙන් කුසල් මෙන්ඩිස්‌ ලබා ගත් අර්ධ ශතක ද්විත්වය පදනම් කර ගනිමින් ඔහු අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මානය සඳහා නිර්දේශය විය. පිතිකරුවකු ලෙස තරග පහකදී මුqළු ලකුණු 167 ක්‌ ලබා ගනිමින් ඉනිමක සාමාන්‍ය 55.66 කට ආසන්න සාමාන්‍යයක්‌ රඳවා ගත් කුසල් මෙන්ඩිස්‌ ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම තරගාවලියක අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මානය දිනූ ළාබාලතම ක්‍රිකට්‌ ක්‍රීඩකයා බවට ඉතිහාසගත විය.

කුසල් මෙන්ඩිස්‌ වයස අවුරුදු 21 යි දින 300 කදී මෙම සම්මාන ලබා ගනිද්දී එහි පැරණි වාර්තාව 2008 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී අජන්ත මෙන්ඩිස්‌ සතුව තිබුණි. අජන්ත මෙන්ඩිස්‌ එදා ශ්‍රී ලංකාවේ ජයග්‍රාහකයා වෙමින් අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මානය දිනා ගන්නා විට වයස අවුරුදු 23 යි දින 117 ක්‌ව තිබුණි. ”මම මේ තරගාවලියේදී ගොඩක්‌ සතුටට පත් වුණා. තණතීරුවත් පන්දුවට පහර දෙන්න අමාරු වුණේ නැහැ. නමුත් අපේ පන්දු යවන්නෝ හොඳින් වැඩේ කළා.” යෑයි වීරයා සම්මාන ද්විත්වයක්‌ දිනූ මෙන්ඩිස්‌ පැවසීය.

‘අපි ශ්‍රී ලංකාවට ලොකු ගාණක්‌ ගහන්න සැලසුම් කළා’සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර්

අපි ඇත්තටම ලොකු ලකුණු ගාණක්‌ ලකුණු පුවරුවට තල්ලු කරන්න තමයි සැලසුම් කළේ. අපේ පුහුණුකරු හිත් ස්‌ටි්‍රක්‌ ඒ බව අපිට දැනුවත් කළා. අපි පොඩි වෙනස්‌කම් කිහිපයක්‌ පමණයි කළේ. නමුත් අපේ තරගාවලියේදී ලොකු දේවල් ටිකක්‌ ඉගෙන ගත්තා. විටෝරි පළමු කඩුලු තුනම දවා ගත්තා. ඔහුට දීප්තිමත් අනාගතයක්‌ තියේවි. අපිට මුලින්ම අවශ්‍ය වෙලා තිබුණා ධනංජය ද සිල්වා සහ කුසල් පෙරේරා දවා ගන්නා. විටෝරි ඒක කළා.” යෑයි සිම්බාබ්වේ නායකයා පවසයි.

ජයග්‍රහණය පිළිබඳව ලොකු සටනක්‌ දීමට සිදුවූයේ අඩු ලකුණු සංඛ්‍යාවක්‌ ලබා ගැනීම නිසා බව ක්‍රීමර් පවසයි,

”ලකුණු 160 ක්‌ ලබා ගැනීමෙන් පසුව අපිට ජයග්‍රහණය සඳහා විශාල සටනක්‌ දෙන්න සිදු වුණා. නමුත් අපි දිවා ආහාරයට තරගය නතර කරන විට අපි කඩුලු තුනක්‌ අරගෙන ගියේ. නමුත් ඒ වෙලාවේ අපිට තව පීඩනය දමා ලකුණු 160 නවතා ගන්න අවශ්‍ය වුණා. ඒත් ඔවුන් ජයග්‍රාහී කඩුල්ල සාර්ථකව පැන ගියේ තවත් කඩුල්ලක්‌ පමණක්‌ දැවී යැමෙන් පසුවයි.” ක්‍රීමර් කීවේය.

උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්
Powered by Blogger.